Tuesday, September 4, 2012

දඟ මල්ල ගුවන් ගත වුන හැටි.......



කොහොමද යාලුවනේ....... ඔන්න මම කාලෙකින් ආවා.... තවත් මරි වැඩක් ගැන කියන්ට..
මේක නම් මහ මෝඩම මෝඩ වැඩක්.. කියන්ටත් ලැජ්ජයි.. කමක් නෑ ඉතින් කියන්නම්කෝ....

.................................................................
ඔයාලා පුංචි කාලෙ බත් ඔතන ඉටිකොල(ලන්ච් ෂීට්) වලින් පැරෂුට් හදලා යවල තියෙනවා ඇති නේද?


මමත් පොඩි කාලෙ හරි ආසයි ඔය වැඩේට.. මමයි මල්ලියි එකතු වෙලා ගෙදර තියෙන ලන්ච් ෂීට් ඉවර වෙනකන් පැරෂුට් යවනවා..

ලන්ච් ෂීට් වල කොන් හතර නූලකින් ගැට ගහලා තව නූලක් දිගට තියෙන්ට ඒකටම අමුනනවා.. ඊට පස්සෙ ඒක අරන් දුවනවා... එතකොට පැරෂුට් එක පාවෙනවනෙ...

ඔන්න දවසක් දඟ මල්ලට අලුත් අදහසක් ආවා..


"හැමදාම කරන්නේ පැරෂුට් අරන් දුවන එකනේ... අද මම පැරෂුට් එකෙන් පැනලා බලන්ට ඕනි..."

මෙහෙම හිතුනා විතරයි මම නොපමාව සිතුවිල්ල ක්‍රියාත්මක කලා... 

අපේ වත්ත බෑවුම් ඉඩමක්. ඉතින් කණ්ඩිය කපලා තමා ගේ හදලා තියෙන්නේ. මම මගෙ පැරෂුට් රාජයත් අරන් කණ්ඩිය උඩට ගියා. ඊට පස්සේ ඔය උඩ තියෙන පින්තූරේ වගේම අත්දෙක උඩට අල්ලලා පැරෂුට් එක අරන් පැන්නා කණ්ඩියෙන් පහලට...

පොළවට ඇදිලා ආපු මම ගෙම්බා පොළවෙ ගැහුවා වගේ බිමට පත බෑවුනා...

මට එකපාරටම හිතුනේ මම මැරුණා කියලා ඒතරම් අමාරුවක් දැනුනා මට.. නැගිට ගන්ට බැරුව ටිකක් වෙලා වැටිච්ච විදියටම හිටියා... හැබැයි මොනතරම් වේදනාවක් දැනුනත් කෙඳිරි ගෑවෙවත් නෑ. කවුරු හරි වෙච්ච දේ දැනගත්තොත් වස ලැජ්ජාවයිනෙ... 



විනාඩි 5ක් විතර එහෙමම හිටපු මම බඩගාගෙන ගිහින් ඇඳට නැග්ගා. මට ඇවිදන් යන්ටවත් පණක් තිබ්බේ නැහැ. වැටුන අමාරුවයි බයයි දෙකමනෙ. කොහොම හරි මට හොඳටම නින්ද ගියා අමාරුවට...

නින්ද ගිහින් ඇහැරුනාම කිසි අමාරුවක් තිබ්බේ නැහැ. අයෙත් පුරුදු විදියටම දඟල දඟලා හිටියා... අදටත් ගෙදර කිසිම කෙනෙක් දන්නේ නැහැ මට එහෙම දෙයක් වුනා කියලා....


Friday, August 3, 2012

දඟ මල්ල කිතුල් පැණි කාපු හැටි...






කොහොමද යාලුවනේ???? බොහොම කලෙකින් තමා මේ පැත්තෙ ආවෙ...

මම අද කියන්ට යන්නෙ මම කරපු ගොඩක් අවදානම් වැඩක් ගැන... ඒත් ඒ දවස් වල මට මම කරපු දේ බරක් පතලක් තේරුනේ නෑ. දැන්නම් මතක්  වෙනකොටත් බය හිතෙනවා.....


ඔන්න එහෙනම් උන දේ...
..........................................................


මට ඉන්නව මල්ලි කෙනෙක්.. එයා මට වඩා අවුරුද්දක් බාල හුරතල් පොඩි එකෙක් (පොඩි කාලෙ. දැන්නම් මගෙ අප්පච්චි වගේ ). දෙන්නගෙ  වැඩේ පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට ගුටි ඇනගන්න එක. ඒත් ඉතින් දෙන්නට දෙන්නා නැතුවත් බෑ.


අපේ ගෙවල් පැත්තේ කිතුල් මල් මැදීම ජයටම කරනවා.. අපේ වත්තෙත් කිතුල් ගස් තියෙනවා..

ඉතින් පොඩි කලෙ ඉඳන්ම හොඳම හොඳ කිතුල් හකුරු කිතුල් පැණි කන්ට මට පින තිබුනා. අපෙ අත්තම්මා තමා ඔය පැණි හකුරු හදන්නෙ.. එයා අපිට පැණි කන්ට දෙන්නෙ බොහොම පරිස්සමට.. අතේ ඉතුරු වෙන ඒවා ලෙව කන්ට දෙන්නෙ නෑ රොටී එක්ක පැණි කන්ට දෙන්නෙ නෑ. නීති ගොඩයි. එහෙම කරාම මල ඇරෙනවලු. ("මල ඇරෙනවා" කියන්නෙ තෙලිජ්ජ නැති වෙනවා කියන එක ). 


කිතුල් මල් කපන අය වෙනමම ඉන්නවා ගම්වල. මල බෙහෙත් තියන්ට හොඳ අතක් තියෙන්ට ඕනිලු. එතකොටලු හොඳට තෙලිජ්ජ එන්නෙ. 


ඔන්න ඉතින් මම දවසක් අත්තම්මගෙන් ඇහුවා "ඇයි අත්තම්මා  මාමා කෙනෙක්ම මල් කපන්නෙ?" කියලා. අනේ ඉතින් අත්තම්ම කීවා "එහෙම තමා පිරිමි අය විතරයි මල් කපන්නෙ ගෑනු අයට මල් කපන්ට හොඳ නෑ" කියලා. මමත් ඉතින් අත්තම්මා කියපු දේ හොඳට හිතට අරන්  පාඩුවේ හිටියා.


ඔන්න එක දවසක් අත්තම්මා පැණි උණු කරනවා. එතනට කිට්ටු උන මම පැණි ටිකක් කන්ට හැදුවා..


"හා හා ලෙව කන්නෙ එහෙම නෑ . ඕක උණු කරන්නෙ දානෙකට දෙන්ට" අත්තම්මා සද්දෙ දැම්මා.. දැන් ඉතින් දඟ මල්ලට දුකයි. කොහොම හරි පැණි කන්ට හිතා ගත්තු දඟ මල්ල මල්ලිට කතා කලා..


"මල්ලි එන්ටකො. අර ගහේ එල්ලලා තියෙන මුට්ටියෙ පැණි තියෙනවා. මට නගින්ට හොඳ නෑ.. ඔයා නැගලා පැණි අරන් එන්ට අපි පැණි කමු " මම අහිංසක මල්ලිව ගස් නගින්ට පෙලඹුවා. දැන් මල්ලි ගහේ නගිනවා.. මම මල්ලිට හුරේ දානවා .. හරියට අවුරුදු උත්සවේ ලිස්සන ගහෙ නගින අයට හුරේ දානවා වගෙ
" හරි මල්ලි තව ටිකයි.. තව ටිකයි.. නගින්ට...." මම කෑගහනවා..
ඔන්න මල්ලි අර ගහ මුදුනටම නැගලා. දැන් කොල්ලට බහින්ටත් බෑ තෙලිජ්ජ මුට්ටිය ලඟට යන්ටත් බෑ. රිලවා වගේ ගහ බදාගෙන කෑ ගහනවා. එතකොටම අපෙ අම්මට මේ සද්දෙ ඇහිලා අම්මා දුවගෙන අවා... 


මට අම්මගෙ ගුටි පූජාව වරදින්නෙ නැති බව අත්දැකීමෙන්ම දන්න නිසා මම දුවගෙන ගිහින් කැලේ පැන්නා..(අම්මා දන්නවා මම මොනා හරි වැරද්දක් කරල අම්මගෙන් බේරෙන්ට කැලේ පැනලා රෑ වෙලා ගෙදරට එනවා කියලා )


ඉතින් එදත් මම රෑ වෙනකොට හිමීට හිමීට ගෙදරට ආවා. එදා නම් අම්මගෙන් බේරෙන්ට බැරි උනා. අම්මා මට හොඳටම තඩි බෑවා.. 


එහා ගෙදරක සීයා කෙනෙක් ඇවිත් බොහොම අමාරුවෙන් තමා මල්ලිව ගහෙන් බිමට අරන් තියෙන්නෙ. ඔය සිද්ධිය වෙනකොට මට වයස අවුරුදු 5ක් විතර ඇති. මල්ලිට අවුරුදු 3 1/2ක් විතර ඇති..


කොහොම හරි මල්ලිගෙයි මගෙයි වෙලාව හොඳ නිසා එදා යන්තම් බේරුනා


Saturday, March 24, 2012

මතක.....


මතක මල් සුවඳ දස අතින් හමන විට....
දෙනුවනට හොරෙන් කඳුලු කැට පනින විට....
උණුසුම් සුසුම් වැල් මුලු හදම පෙලන විට...
හද කවුළු වසන්නෙමි නුඹ සිතට එනවාට...


පෙර දිනක දළු ලෑව අපේ පෙම් ලෝකයට...
දා අළු වූ මතක පමණිය උරුම අද....
කඳුල මිස සිනා නැති මගේ හිස් ලෝකයට....
මා කෙසේ කියන්නද සතුට හීනයක් බව.....

Tuesday, February 7, 2012

දඟ මල්ල සහ නරි බෑනා අංක 02


ඔන්න ඉතින් දඟ මල්ලට කාලෙකට පස්සෙ  නිවාඩුවක් ආවා... 


අද ආවෙ ගිය පෝස්ට් එකෙ ඉතිරි ටික කියලා යන්න . කලින් පෝස්ට් එක බලන්න බැරි උනා නම්  http://cjkasthuri.blogspot.com/2012/01/01.html  



ඔන්න ඉතින් දවසම අර සින්දුව කිය කිය හිටපු දඟ මල්ල පහුවදා උදේ ඇහැරියා... එතකොට දඟ මල්ලගෙ අම්මා වැඩට යන්න ලෑස්ති වෙනවා..
දඟ මල්ලත් පුංචි කමට ඉන්නෙ නැතුව ආත්තම්මගෙ චීත්තයක් අරන් ඔසරියක් අඳින්න ගත්තා....
ඔන්න ඊට පස්සෙ උන දේවල් අම්මගෙ වචන වලින්....
.............................................................


මම උදේ වැඩට යනකොට ගේ ඉස්සරහ ඔසරියක් පටලවන් ඉඳ ගත්ත ළමයා මම හවස එනකොටත් එතනමයි.... මම ඇහුවා


අම්මා:-මොකද දුව ඔයා තාම ඔතන කරන්නෙ? මම උදේ යනකොටත් ඔතනට වෙලා පාර බලන් ඉන්නවා. ඇයි පුතේ මොකද උනේ?


දඟ මල්ල:- (ඉතාම දුකින්)බලන්නකො අම්මි.. මං උදේ ඉඳන් මෙතනට වෙලා බලන් ඉන්නවා... ඔයාගේ නරි බෑනා තාම ආවෙ නැහැනෙ මාව එක්ක යන්න...
............................................................... 
ඔන්න පුංචි කමට දඟ මල්ලගෙ වැඩ....

Saturday, January 21, 2012

පිවිසුම...

සුබ දවසක් හිතවතුනේ.....


ඉතින් ඔන්න මමත් අද ඉඳන් ඔයාල එක්ක එකතු වෙනවා.... මෙච්චර කාලයක් කලේ කාගෙ හරි පෝස්ට් කියවලා කොමෙන්ටුවක් දාල ගිය එක... ඒ අතරෙ මටත් ආසවක් ආව බ්ලොග් එකක් පටන් ගන්ට...


මම ගොඩාක් සීරියස් විදියට ලියන්න නම් බලාපොරොත්තුවක් නෑ...


මොකද මම හරිම සිම්පල් කෙනෙක් නිසා


ඉතින් අද ඉඳන් මාවත් ඔයාලගෙ සාමජිකයෙක් කරගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා..

දඟ මල්ල සහ නරි බෑනා....අංක 01


මේක මම පුංචි පැංචි කාලේ කරපු බොහොම අහිංසක වැඩක්... අනේ ඒත් තාම මේක මතක් කරල ගෙදර අය මට හිනා වෙනවා....


ඔන්න ඉතින් මම පුංචි කාලෙ ඉඳන්ම සිංදු අහන්න හරිම ආසයි...


ඉතින් තාත්ති මට පොඩි පොඩි සිංදු කියල දෙනවා....


දවසක් මට කියල දීපු සිංදුවක් තමා


"නරි බෑනෝ මේ අහන්න"
"දෑවැද්දත් අරන් ඔන්න"
"අපි ආවා දූ බලන්න"
"ගෙට එන්නට දොර අරින්න"


මේක නරි බෑනා වේදිකා නාට්‍යයේ එන පුංචි ගීතයක්..
ඉතින් ඕක අහපු වෙලේ ඉඳන් දඟ මල්ලට ප්‍රශ්න කෝටියයි..
"කවුද තාත්ති නරි බෑනා කියන්නෙ"? ඇයි එහෙම කියන්නෙ? ඉතින් නරියට සිංහල පුලුවන්ද?දෑවැද්ද කියන්නෙ මොකක්ද?"
 ඔන්න ඔය වගෙ ප්‍රශ්න ගොඩයි...
ඉතින් තාත්තිත් පුලුවන් විදියට මට තේරෙන්ට නරි බෑන ගැන කියල දුන්නා..
"ඔව් පුතේ. ඉස්සර කාලෙ නරියන්ට සිංහල පුලුවන්. නරියට ගම දුවට ආදරේ හිතිලා එයාව නරියගෙ ගෙදරට එක්ක යනවා.දුවට ආදරේ නිසා අම්මයි තත්තයි නරියට දෙන තෑගි තමා දෑවැද්ද කියන්නෙ. ගම දුවගෙ අම්මයි තාත්තයි එයාව බලන්න ගිහින් තමා ඔය සින්දුව කියන්නෙ" කියල කීවා...


ඉතින් ඊට පස්සෙ දඟ මල්ල කරපු දේ ඊලඟ පොස්ට් එකෙන් කියන්නම්...